නිරෝගා

                     

                       වයිට්නිං ක්‍රීම් (Whitening Cream) ගාන්නෙ බලාගෙනයි    

                                               

                                                                                           තිත්ත ඇත්ත මෙන්න

            නුදුරු අනාගතයේදී ම ජාතියේ කාන්තාවන්, දරුවන් සහ ඔබද බරපතළ ලෙසින් රෝගී විය හැකි බවට කරනු ලබන රතු නිවේදනයයි. මෙවැනි ව්‍යසනයක්‌ ගැන කියන්නට සිදු වීම පවා එක අතකින් අවාසනාවකි. ජාතියේ අවාසනාවකි. නමුත් ජාතියේ මළ බෙරය වැයෙන්නට පෙර මෙය ලිවීම මනුෂ්‍යත්වයේ යුතුකම යැයි සිතමු. ඔබේ මව, බිරිඳ, හිතවතිය, දියණිය උදෙසා මේ අති භයංකර යථාර්ථය හෙළි කරමු. ඔබේ නූපන් දරුවා වෙනුවෙන් මේ සටහන තබමු. කාන්තා, පිරිමි භේදයකින් තොරව ඔබ සියලු දෙනාට මෙම ලිපියෙන් ආමන්ත්‍රණය කරමු. රටේ වගකිවයුත්තන් හොරට නිදන නිසාත්, හොරට නිදන ඔවුන් අවදි කිරීමට බැරි නිසාත් අපි, ඔබව අවදි කිරීමට, ඔබේ ඇස්‌ ඇරවීමට, මෙය මෙසේ හෙළි කරමු.

            මේ කියන්නට යන්නේ, සුදු හමක සිහිනය මත ඔබව සතපා සමස්‌ත ජාතියකට විස ශරීරගත කරමින්, කිසිදු නියාමනයකින් තොරව පිටරටින් මෙරටට ඇදී එන ‘වයිට්‌නිං ක්‍රීම්’ ගැන ය. අහසින් වැටුණු රූපලාවන්‍ය ආලේපන ගැන ය. මේවායින් බහුතරයක නිෂ්පාදකයා හෝ දේශීය බෙදාහරින්නා හෙවත් එම නිෂ්පාදනය සම්බන්ධයෙන් වගකීම දරන මෙරට නියෝජිතයකු නොමැත. එබැවින් ඒවා ජාතියක්‌ ජන්මයක්‌ නොමැති ‘අවජාතක’ නිෂ්පාදනයන්ය. මේ අවජාතක නිෂ්පාදනයන්, විචාරශීලිත්වයක්‌ නොමැති, හෙටක්‌ ගැන අවබෝධයක්‌ නොමැති ජාතියක, කාන්තාවන්ගේ සිරුරු මත වෙලී ජාතිය වළපල්ලට රැගෙන යන ආකාරය ලිපියේ මතුවට අපි සවිස්‌තරව දක්‌වන්නෙමු.

     ප්‍රථමයෙන්ම, රුපලාවන්‍ය නිෂ්පාදන මෙරට වෙළෙඳපොළට ඒමේදී ඒ සම්බන්ධයෙන් පැවැති නියාමනයට       කුමක්‌ වූයේ දැයි විමසා බලමු. 

එදා මේ සම්බන්ධයෙන් නිසි ප්‍රමිතියක්‌ සහ නියාමනයක්‌ තිබූ අතර CDDA හෙවත් රූපලාවන්‍ය සහ ඖෂධ නියාමන අධිකාරිය හරහා මෙය සිදු විය. නමුත් මෙම රජය බලයට පත්වූ පසු 2015 ජුලි මස 01 වැනිදා CDDA අහෝසි කර ඒ වෙනුවට NRMA හෙවත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටු වන්නේය. එසැණින් රූපලාවන්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් වූ වෙළෙඳපොළ ප්‍රමිතිය නොහොත් නියාමනය හැලී ගියේය. (නැතහොත් හලා දැමුවේය) වෛද්‍යවරයෙකු යටතේ ඇති සෞඛ්‍ය අමාත්‍යංශය එසේ කරද්දී, පාරිභෝගික අධිකාරිය පිළිබඳ වගකිව යුතු, වාණිජ කටයුතු අමාත්‍යංශය විසින් පනින රිළවුන්ට ඉනිමං බැන්දේය. ඒ සමගින් සිය රටේ භාවිතයට ගන්නා රූපලාවන්‍ය නිෂ්පාදන ගැන නියාමනයක්‌ නැති ලෝකයේ ඇති එකම රට ඔබ මා ජීවත්වන මේ ශ්‍රී ලංකාව බවට පත් වී හමාර ය.. (අපේ කලාපයේ ඇති කුඩාම රටක්‌ වන භූතානයට පවා ඒ සම්බන්ධයෙන් නියාමනයක්‌ ඇත) එතැන් පටන් ඉවක්‌ බවක්‌ නොමැතිව පෙර සඳහන් කළ ‘අවජාතක’ ආලේපන මෙරටට ගලා එන්නට වූ අතර, මෙහිලා පෙරමුණ ගෙන සිටිනුයේ කූට ව්‍යාපාරිකයන් පිරිසකි. රූපලාවන්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් වූ දොරටු මෙසේ  හැර දැමීම සහ එයින් කූට ව්‍යාපාරිකයන් රිංගා ගැනීම අතර ඇති සම්බන්ධය බුද්ධිමත් පාඨකයා විසින් වටහා ගනු නියත ය.

         ඒවායෙහි අන්තර්ගත රසදිය අධි මාත්‍රාව

ප්‍රශ්නය, කවුරු මේ ව්‍යාපාරය කරන්නේද? එලෙස එතෙක්‌ පැවැති නියාමනයන් හිටි අඩියේ අහෝසි කර දැමුවේ මන්ද? යන කරුණ ද නොවේ. ගැටලුව නම් මේ නියාමනයන් ඉවත් කිරීම හරහා මෙරටට එන වගකිව යුත්තෙක්‌ නොමැති එම ආලේපනවල සැඟව ඇති රසදිය අධි මාත්‍රාව හේතුවෙන් පැන නැගිය හැකි බරපතළ සෞඛ්‍ය තර්ජනයයි.

රසදිය යනු ශරීරයට තියුණු ලෙස කාවදින සහ බොහෝ කාලයක්‌ සිරුරේ රැඳී පවතින, බරපතළ ශාරීරික උපද්‍රව ඇති කරන අධි විෂ සහිත වුවකි. එය සෘජුවම මොළයට හානි සිදු කර මානසික ව්‍යාකූලතා ඇති කර, මතක ශක්‌තිය හීන කරන්නකි. මධ්‍ය ස්‌නායු පද්ධතියට හානිකර ශරීරයේ කොටස්‌ අඩපණ කරන්නකි. ඇසට හානිකර පෙනීම දුර්වල කරන්නකි, වකුගඩු සංකූලතා ඇතිකරවන්නකි. ගැබිණි මවක්‌ ඒවා භාවිත කළහොත් කළලය තෙක්‌ ගොස්‌ කුසේ සිටින දරුවාගේ මොළයට හානි කරයි. එනම් මන්ද බුද්ධික දරුවන් බිහිවීමට හේතුවකි.

ශුක්‍රාණුවල ජීවී ස්‌වභාවය 80%කිනුත් ඒවායේ චාලක ස්‌වභාවය 90%කින් අඩුකර පිරිමින් වඳභාවයට පත්කරවන්නකි. ලෝකයම ප්‍රතික්‍ෂේප කරමින් සිටින්නකි. 1970 දී ඇමරිකානු රජය විසින් එරට තරුණ පරම්පරාවට ජලාශවල සිටින මාළුන් ආහාරයට ගැනීමෙන් වළකින ලෙසින් අවවාද කළේ, කාර්මීකරණය හේතුවෙන් ජලයට එක්‌වන රසදිය, මාළුවන්ගේ සිරුර තුළ මෙතිල් මර්කරි ලෙසින් පැවතීමත්, එම මාළු ආහාරයට ගනු ලබන පුද්ගලයන් වඳ භාවයට පත්කරවන බැවිනි. රසදිය හෙවත් මර්කරි නම් මූල ද්‍රව්‍යය පරිසරය සමඟ එක්‌ව සංඝටක සෑදීමේදී ඒවා මර්කරිවල මූලික තත්ත්වයටද වඩා විසෙන් වැඩි ය. ඒවා ගසකින් අවශෝෂණය කරගත් විට ගසේ එම අධි විස තැන්පත් වේ. 1956 දී රසදිය ජලයට එක්‌වීමේ ප්‍රතිඵලයක්‌ ලෙසින්, මෙතිල් මර්කරි ශරීරයේ තැන්පත්වූ මාළු ආහාරයට ගත් ජපානයේ 10000 ක්‌ දෙනා ‘මිනමාටා’ රෝගයට ගොදුරු වූ අතර 1784 දෙනෙක්‌ මිය ගියහ.
    
        අඩංගු විය යුතු රසදිය හෙවත් මර්කරි පරිමාව

මෙහි ඇති උග්‍ර විෂ තත්ත්වය නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශීය වන්නේ යම් රූපලාවන්‍ය නිෂ්පාදනයක මර්කරි අඩංගු විය යුතු උපරිමය, කොටස්‌ මිලියනයකට, එක්‌ මර්කරි කොටසකි. එනම්, අදාළ නිෂ්පාදනයේ කිලෝග්‍රෑමයක රසදිය අඩංගු විය යුතු උපරිමය මිලිග්‍රෑම් එකකි. නමුත් අද මෙරට නිදහසේ අලෙවි වන යම් කිසි වයිට්‌නිං ක්‍රීම් වර්ගයක රසදිය අඩංගු ප්‍රමාණය කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් 9870 ක්‌ හෙවත් තිබිය යුතු ප්‍රමාණයට සාපේක්‍ෂව 10,000 ගුණයකින් පමණ වැඩි ය. 2013 දී යුරෝපා කොමිසම විසින් ‘බරපතළ අවදානම් සහිත නිෂ්පාදන ලැයිස්‌තුවට’ දමා තහංචි දැමූ මේ නිෂ්පාදනය මෙරටට රැගෙන එන සමාගම කවරක්‌ද? ඒ ගැන වගකියන මෙරට ආයතනය කුමක්‌ද? එසේම අධික සෞඛ්‍ය අවදානම නිසාම, එක්‌සත් රාජධානිය තුළ විකිණීමක්‌ කළ හොත් එම විකුණන පුද්ගලයාට පවුම් 11,000 ක දඩයක්‌ හෝ හිර දඬුවම් නියම කළ හැකි Faiza නමැති ආලේපනයද (මේ පිළිබඳ සවිස්‌තර බී.බී.සී පුවතක්‌ අන්තර්ජාලයේ ඇත.) අපි ඉකුත් 29 වැනිදා කිරිබත්ගොඩින් මිලට ගත්තෙමු. එයද ලංකාවේ සුලබ ය. එය ගෙන්වන ආයතනයක්‌ මෙහි නැත. ලොව තහනම් ආලේපන මෙරට ගජරාමෙට විකිණේ නම් පාරිභෝගික අධිකාරියක්‌ හෝ සෞඛ්‍ය අමාත්‍යංශයක්‌ ඇත්තේ ඇයි දැයි අපි ජනපතිගෙන් අසනු කැමැත්තෙමු. එපමණක්‌ නොව මෙරටේ වගකිවයුතු දේශීය නියෝජිතයෙක්‌ නොමැති ආලේපන වර්ග සමහරක රසදිය ප්‍රමාණය කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් 30,000 ක්‌ හෙවත් තිස්‌දහස්‌ ගුණයක්‌ බව පරිසරයට ආදරය කරන ජනපතිතුමන් ද දැන ගනිත්වා…·

අප සොයා ගත් තොරතුරුවලට අනුව මේවා හොර බඩු ලෙසින් රේගුව හරහා ද, කිරිමැටි ගෝනි අයුරින් කන්ටේනර්වල පටවාද මෙරටට එන අතර ඒවා ඩප්පිවල අසුරා, පෙට්‌ටිවලට දමා පෙනුම ගන්නේ පිටකොටුවේ සංවිධානාත්මක වෙළෙඳ ජාවාරමක්‌ මගිනි. ඒවායේ ‘අඩංගු දෑ’ ලෙසින් ඇති කිසිවක්‌ එහි තිබේද, නැතහොත් එහි ඇත්තේ වෙනම දෙයකින් සැදූ දෙයක්‌ දැයි සහතික කර දැන ගැනීමට ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයාට කිසිදු අවස්‌ථාවක්‌ නැත. අවසානයේ මේ අධි විෂ, අධික මිල ගණන්වලට විකිණේ. වෙළෙදසැල්හිමියා හෝ රූපලාවන්‍ය ආයතනයට ඉහළ ලාභයක්‌ ඇති බැවින් සහ වෙනත් සුවිශේෂී ‘ගරිල්ලා මාර්කටිං’ ක්‍රමවේදයන් ඔස්‌සේ මේවා ‘සුපිරි බඩු’ ලෙසින්, විචාරයක්‌ නැති පාරිභෝගිකයාගේ මල්ලට දැමෙයි. මේවායේ අැති රසදිය හම විදගෙන ගොස්‌ එහි වර්ණක මරා දමන බැවින් සැබැවින්ම කෙටි කලකින් සම සුදු වේ. එනිසා මේවා නැවත නැවත විකිණේ. පැහැය අත්දුටු කෙනා තවකෙනකුට මෙහි වරුණ කියයි. නමුත් මේ සුද පසුපස සැඟව ඇති අමිහිරි කථාව ගැන කිසිවක්‌ අසරණ පාරිභෝගිකයා නොදනී.


         නිෂ්පාදනය කරන රටවල්

මේවා බොහොමයක්‌ නිපදවන්නේ අරාබිකරයේ රටව ලය. ඒවායේ බොහොමයක අරාබි අකුරු ද ඇත. එහෙත් මේවායේ හලාල් ලකුණ නම් නැත. එබැවින් මුස්‌ලිම් ප්‍රජාව මේවා මිලට නොගනී. ඔවුහු මේ ව්‍යසනයට සෘජුව ලක්‌ වීමේ අවදානමෙන් ගැලවීමට භාග්‍යවන්ත වී සිටිති.

නමුත්, මේ ලක්‌ පොළොව මත සිටින කිසිවකුට මෙහි බලපෑමෙන් මිදිය නොහැකි වනු ඇති බව සමස්‌ත ශ්‍රී ලාංකිකයන්ගේ දැන ගැනීම පිණිස හඬ ගා කියන්නෙමු. මන්ද මේ අයුරින් තොග පිටින් එන රසදිය විස අවසානයේ පොළොව මතට, ජලය තුළට ඇතුළු වී ‘මිනමාටා’ ව්‍යසනය වැනි දෙයක්‌ මේ රටට හෙට සිදු වුවහොත් එය ජාති, ආගම්, පක්‍ෂ භේදයකින් තොරව සියලු දෙනා අක්‍රිය කර දමනු ඇත.

 මේ පිළිබඳ තවදුරටත් සොයා බැලීම සඳහා අප කිහිප දෙනෙක්‌ එක්‌ව ඉකුත්දා මෙම නිෂ්පාදන කිහිපයක්‌ පරීක්‍ෂාකර බැලීමේදී ඒවා ශරීරයේ ගෑවුණු විට, සබන් දමා සෝදා හැරිය ද සේදී නොගිය කොටස්‌ සම මත තැන්පත්ව ඇති බව පෙනුණි. මෙය ප්‍රමිතියෙන් යුත් ආලේපනයක ස්‌වභාවය නොවේ. මෙම ආලේපනයක්‌ තවරාගත් අයකු විසින් දරුවෙක්‌ සිපගත්තද එය දරුවාගේ හමේ තැවරී එකී හානිය කරනු ඇත. තව කෙනකුට අතට අත දුන්නද තත්ත්වය එසේම ය. මේ විමර්ශනයේදී අපට කරුණු දැක්‌වූ රසායන විද්‍යාව මනාව දත් විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු පැවසුවේ, මෙයට වසර කිහිපයකට පෙර ඔවුන් සමඟ ඇමරිකාවේදී රසදිය සම්බන්ධ පරීක්‍ෂණයක යෙදුණු ශ්‍රී ලාංකික ආචාර්යවරියක්‌ හමේ තිබූ සුළු සීරීමක්‌ මත රසදිය තැවරීම නිසා එරටෙහිදී මිය ගිය බවයි. එය එසේ නම්, නොදන්නා තැනක නිපදවා මෙරටට ගෙනැවිත් විකුණන මේ ක්‍රීම් වර්ග කුරුළෑ ඇති සමක ආලේප කළහොත් එකී එක්‌ අංශුවකට සෘජුවම ශරීරය ආක්‍රමණය කිරීමට ඇති හැකියාව ඒ විද්වතා අපට පැහැදිළි කර දුන්නේ ඇඟ හිරිවට්‌ටමිනි.

          
        මේවා තහනම් කිරීමට හෝ නියමිත ප්‍රමිතීන්ට අනුකූල භාණ්ඩ අානයනයට අදාළ නීති?

අපි එදා සුදු වන්නට ‘වදකහ සුදිය’ බිව් ජාතිය වෙමු. නමුත් පිටරටින් ගෙන්වා අපගේ වෙළෙඳපොළ මතට අත හරින මේ ‘රසදිය සුදිය’ වදකහ සුදිය මෙන් අහිංසක නොමැති බව අපි ඔබට අවධාරණයෙන් පවසන්නෙමු. 2015 නොවැම්බර් මස අයවැය ඉදිරිපත් කිරීමේදී, මෙම තත්ත්වය පෙන්වා දෙමින්, මේ පිළිබඳ නිසි නියාමන ක්‍රමවේදයක්‌ ගැසට්‌ කිරීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කළ යුතු බවට රවි කරුණානයක මහතා පැවසුවද, පාරිභෝගික අධිකාරිය මෙතෙක්‌ ඒ සම්බන්ධයෙන් මුණිවත රකින්නේ මන්දැයි අපි ප්‍රශ්න කර සිටිමු. 2017.03.09 දාතමින් නීතිපති දෙපාර්තමේන්තුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත, දැනට පවතින නීති ප්‍රතිපාදනවලට යටත්ව අදාළ නියාමනය කළ හැකි බවට උපදෙස්‌ නිකුත් කළ ද මේ දක්‌වා සෞඛ්‍ය අමාත්‍යංශය ද මුණිවත රකිමින් සිටී. ජාතිය විසක ගිලෙද්දී නිහඬව සිටින වගකිවයුත්තන්ගේ දෑස්විවර නොවන්නේ මන්ද?. කිසිදු වගකීමක්‌ නොමැති මේ වස විස විකුණා ජාතිය මරාගෙන කන මස්‌ වැද්දන්ගේ තැනට නොවැටෙන ලෙස වෙළෙදසැල් හිමියන්ගෙන්, රූපලාවන්‍ය ක්‍ෂේත්‍රයේ නියුතු අයවලුන්ගෙන් ඉල්ලා සිටිමු. ඔබගේ ජීවිතයේ ආරක්‍ෂාව වෙනුවෙනුත්, සමාජයේ සෞඛ්‍ය සුරක්‍ෂාව පිණිසත් මේ කරුණ ගැන ඔබ ද සිහියේ රඳවා ගනිමින්, අනෙකා ද දැනුවත් කිරීමෙන් සබුද්ධිමත්ව ක්‍රියා කරමු. ආණ්‌ඩුවකට නොහැකි වූ දේ කිරීමට ඔබට හැකිවනු ඇත.


        

Comments

  1. Obviously very Important article . Thank u very much Akke!! Highily Appreciate!!!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නිසදැස් අරණ

රුව ගුණ වරුණ